ලිප්ටන් අසුන මත සිට සුන්දර දසුන් නරඹමු
ලිප්ටන් තේ පිළිබඳව අටුවා - ටීකා - ටිප්පනි ලිවිය යුතු නැත. තෝමස් ජේ. ලිප්ටන් නම් වු අතිශය ශූර මිනිසාගේ සුන්දරනීය සිහිනය වූ කලි ඔහු ගොඩනැගූ ලිප්ටන් වෙළඳ නාමයත්, ලිප්ටන් තේ කර්මාන්ත ශාලාවත් වේ. 1980 ගණන්වල ලංකාව තුළ ව්‍යාප්ත වී තිබුණු කෝපි කර්මාන්තය අභිබවා තෝමස් ජේ. ලිප්ටන් මහතාගේ තේ කර්මාන්තය පතාක යෝධයකු මෙන් නැඟී සිටිනු දක්නට ලැබිණි. දහඅට වන ශතවර්ෂය අවසාන කාර්තුව තුළ බි‍්‍රතාන්‍යයේ තේ බීම අතිශය ජනප‍්‍රියත්වයට පත් විණි. ඒ හරහා තේ කරළියට පැමිණි ලිප්ටන් මහතා සතුව හපුතලේ, පුස්සැල්ලාව යනාදී වශයෙන් තේ වතු රාශියක වත්කමක් තිබිණි.එසේම තෝමස් ජේ. ලිප්ටන් මහතා සතුව අපූරු පුරුද්දක් තිබිණි. ඔහුගේ ප‍්‍රියතම ගිමන් හැරීමේ ස්ථානය වූ හපුතලේ එක්තරා උස් ප‍්‍රදේශයක තනා තිබු ආසනයක හිඳ තම තේවත්තත්, අවශේෂ දර්ශනත් රසවිඳීමට ඔහු පුරුදු පුහුණු වී සිටියේය.
මෙකී ආසනය පසු කාලීනව ලිප්ටන් ආසනය (LIPTON SEAT) නමින් ප‍්‍රචලිත විය. හපුතලේ නගරය පසු කර කිලෝ මීටර් 9 1/2 ක පමණ දුරක් ගෙවා ගිය කල්හි දඹතැන්න නම් වු කුඩා නගරය ඔබට මුණ ගැසේ. මෙකී සුන්දර ලිප්ටන් ආසනය පිහිටා ඇත්තේ දඹතැන්නට ඔබ්බෙන් පිහිටි පුනා ගල ය. සුවිශාල පර්වත ප‍්‍රාන්තයන්ගේ අග්ගිස්සෙහි පිහිටා තිබෙන ලිප්ටන් ආසනය මත ඔබ අසුන්ගතහොත් හාත්පස ඉතාමත් සුන්දර ලෙසින් දැක ගත හැක.
ලිප්ටන් අසුනේ සිට හාත්පස නරඹන කල්හි දැනෙන ජීවී භාවයත්, සෞන්දර්යයත් පරිසර හිතකාමීන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.කොස්ලන්ද සිට මඳ දුරක් ගෙවා ගිය කල්හි හමුවන පුනාගල ට පිවිසියහොත් ඔබට අපූරු කී‍්‍රඩා අත්දැකීමක් ද විද ගත හැකිය. පුනගල පිහිටා ඇති ‘කී‍්‍රඩා සංකීර්ණය’ කී‍්‍රඩා හිතකාමීන්ගේ මනදොළ පිරීමට සමත් වනු ඇත. එසේ ම ඒ අසළම පිහිටා ඇති පිරිසුදු වූත්, දර්ශනීය වූත් දිය ඇල්ල ඔබට ස්නානයට ලෝබකමකින් තොරව පිරිසිදු ජලය සපයනු ඇත.
