කිසිවෙකු විසින් මොනයම් ආකාරයකින් හෝ මොනයම් හේතුවක් මත හෝ අනුභව නොකළ යුතු මස් වර්ග 10 ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් මහාවග්ග පාලි භේසජ්ජක්ඛන්ධකයේදී දේශනා කරනු ලැබ ඇත. එහිදී මුලින්ම කියවෙන්නේ මනුෂ්‍ය මාංශ පිළිබඳවය. මිනිසාගේ වටිනාකම නිසා මනුෂ්‍ය මාංශය අනුභවය සඳහා තහනම් කෙරී ඇත.
ඊළඟට අලි ඇතුන්ගේ මස් සහ අශ්වයන්ගේ මස් සඳහා ද අවසරයක් දී නැත. එම සතුන් දෙදෙනා රජවරුන්ගේ යුද්ධ සේනාවන් හි ඇතුළත් වීම එයට හේතුවයි. සුනඛ මස් අනුමත කෙරී නැත්තේ එම සතා නින්දිත හා පිළිකුල් බැවිනි. සර්පයා ද නින්දිත පිළිකුල් සහ භයානක නිසා සර්ප මස් අනුභව කිරීමට ද ඉඩක් නැත.
සිංහ මස්, ව්යාඝ්ර මස්, වලස් මස්, දිවි මස් සහ කළුහිස් ඇති වලසුන්ගේ මස් ද අනුභව නොකළ යුතු යැයි පැවසෙන්නේ ඒ ඒ මාංශ ගන්ධය දැනී ඒ ඒ සතුන්ගෙන් හානි විය හැකි නිසාය.
යම් ප්‍රදේශයකදී ආහාරය හේතුකොටගෙන යමෙකු අප්‍රසාදයට, නින්දාවට, පිළිකුලට සහ හිංසාවට ලක්වන්නේ නම් ආහාරය කුමක් වුවද එය අකැප ලෙස සැලකීම අගනේය. සුත්ත නිපාත බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී ගවමස් සඳහා ද බුදුරජාණන් වහන්සේගේ විරෝධය එල්ල වී ඇත.