සිද්ධර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ඒ ඈත කාලයේ ලොව පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ භින්න මාතෘක කුමරියක්ව උපත ලැබුවාය. බුදුරදුන්ගේ පියා නිසාම වෙනත් බිසවකගේ කුසින් උපත ලද කුමරියක යන්න එහි අදහසයි.
එදා ඒ කුමරිය අබ හේනක් වපුරුවා, සියතින්ම අබ වගාවට පහසුකම් සලස්වා, ඒ අබ නෙලා කොටා තෙල් සිඳ, ඒ අබතෙල් දීපංකර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නිසභ මහරහතන් වහන්සේට පූජා කොට “ මේ පිනෙන් මටත් මාගේ සහෝදරයන් වහන්සේට සේම, සම්මා සම්බුදු බවට පත්වීමට හැකි වේවා! යි ප්‍රාර්ථනා කළාය. එම ආත්මයේදි මගේ නම අබ හඳුන්වන ලද “ සිද්ධාර්ථ” නාමය ම වේවා! යි ද ප්‍රාර්ථනා කළාය. නිසභ මහරණුවෝ පාත්‍රය පුරා පූජා කරන ලද අබතෙල් පිළිගෙන සන්ධ්‍යා සමයෙහි බුදුරදුන් ප්රමුඛ මහරහතන් වහන්සේලාට පූජා කළහ. එහි සිටි දහස් ගණනක් මහා සංඝයා වහන්සේට පූජා කළ ද ඇගේ ප්රාර්ථනාවෙහි බලය නිසා දෝ, පාත්‍රයෙහි තෙල් නිමාවක් නොවීය.
මේ පිළිබඳව නිසභ තෙරණුවෝ කරුණු පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්ස, මේ අබතෙල් පූජාකරන ලද්දී, ඔබ වහන්සේගේම භින්න මාතෘක නැගණියයි. ඇය අබහේනක් වපුරා එය සරුසාර ලෙස වඩා කපා කොටා තලා සැම අබ ඇටයක්ම ස්වේත වර්ණ බවට පත්කොට මේ පිරිසුදු අබතෙල් සිඳගන්නා ලද බව දැනගතිමි. ඒ අබතෙල් පාත්‍රය පුරවා පූජා කොට මටත් මාගේ බෑයන් වහන්සේට සේම, අනාගතයේදී බුදුවන්නට ලැබේවා! යි ද ඒ ආත්මභාවයේ දී මගේ නම සිද්ධාර්ථ නාමයම වේවා! යි ද ප්‍රාර්ථනා කරන ලද්දී යැයි ද නිසභ තෙරණුවෝ සඟ මැද ප්‍රකාශ කළහ.
ඒ දීපකංර බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, “ඇවැත්නි, මහණෙනි, මාගේ ඒ සහෝදරියගේ ප්‍රාර්ථනාව එසේම සිදුවන්නේය.
මින් මතු ඇය දිගටම පුරුෂ ආත්ම ලබා අනාගතයේ දී මෙයින් දොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්මගිය තැන මගේ නමින්ම බුදුබවට පත්වන දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් සුමේධ තාපස නාමයෙන් ඍධිමත් තවුසෙක්ව මතු බුදුවන බවට නියත විවරණ ලබනු ඇත. එය සිදුවන්නේ මෙතැන් සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම යාමෙන් පසුව යයි ද ඒ ඈත දීපකංර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
මේ බුද්ධ වචනය මහරහතන් වහන්සේලා වෙතින් දැන ගත් අබතෙල් පූජාව කළ කුමරිය, අනගාරිණී ජීවිතයක් ගත කරමින් මේ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට එදා පටන්ම කටයුතු ආරම්භ කරන ලද්දීය. මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුල්ම අවස්ථාවයි. මෙම කල්පයේදීම නැව් තොටක කම්කරු තරුණයෙක්ව සේවය කරද්දී, මිත්‍ර වෙළඳ පිරිසක් සමග තම මෑණියන් ද කැටුව සුහද ගමනක් යද්දී කුණාටුවකට හසුව නැව් සමූහයම කැඩී බිඳී විනාශ වී ගිය අතරතුරේ දී අතට හසුවූ ලෑලි කෑල්ලක් අල්ලාගෙන තමන්ගේ මෑණියන් කරපිට තබාගෙන පිහිනීමෙන් දින ගණනාවකට පසු නිරාහාරවම ගොඩට පැමිණියේ හ. එදා ඒ මව “ පුතේ ඔබ දරුවෙක් නො කරන ක්‍රියාවක් මා වෙනුවෙන් කරන ලදී. පුතණුවනි,, ඔබට මේ තුළ කුශලකර්ම බලයෙන් බුදුබව ම ලැබේවා! යි ප්‍රාර්ථනා කළාය. මැණියන්ගෙන් ලද මෙම උදාර ප්‍රාර්ථනාව ද පුතණුවන්ගේ සිතෙහි ක්‍රියාත්මක විය. නොබෝ කලෙකින්ම මව අභාවයට ගිය පසු මේ පුතණුවෝ අවිවාහකවම ජීවත්වෙමින් මගේ මෑණියන් මට කළ ප්‍රාර්ථනාවක් ඇත. “ පුතණුවනි, ඔබට බුදුබවම ලැබේවා! යි යන්න එකී ප්‍රාර්ථනාවයි. ඒ පිළිබඳව මා උනන්දු විය යුතු යයි සිතා එදා බුදුසසුනක් නො පැවතියද, දැන උගත් බ්‍රාහ්මණ පඩිවරුන්ගෙන් විමසා ලෝකයෙහි අද්විතීය තත්ත්වය වන බුදුබවට අවශ්‍ය ගුණධර්ම සොය කියාගෙන ඒවා සම්පූර්ණ කිරීමට ආරම්භ කළහ.
අර ඈත කාලීන දීපංකර බුදුරදුන් වදාළ අයුරින් මෙසේ පින්දහම් පුරමින් එද්දී ඊට මෑත කාලයෙහි පහළවුණ දීපංකර බුදුරදුන් හමුව ස්ථීර වශයෙන් ම මේ සුමේධ තවුස් තෙමේ අනාගතයේදී මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම ගිය තැන ඒකාන්තයෙන්ම සිද්ධාර්ථ ගෞතම නාමයෙන් සම්මා සම්බුදු බවට පත්වන්නේ ය’යි නියත විවරණ ලද සේක. මේ පළමුවන නියත විවරණයයි.
ඒ දීපංකර පාදමූලයේදි ලද නියත විවරණයෙන් මහත්සේ උත්සාහවත් වූ සුමේධ තවුස්තුමා පෙර කී පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දස පැරුම්දම් සපුරා මෙයින් වසර දෙදහස් හයසිය සිව්තිසකට පෙර වෙසඟ පුර පොහෝ දිනෙක මෙලොව උපත ලද සේක. විසිනව වන වියට පත් බෝසත් සිදුහත් කුමරා සියල්ල අතහැර දමා වනගතව තවුස්දම පුරා වයස තිස් පහේදි සම්මා සම්බුදු බවට පත්වූයේය.