හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
මේ දිනවල රටේ පවතින ආර්ථික තත්ත්වයත්, උත්සව සමයත් නිසා අපි හැමෝම වගේ අතිශය කාර්ය බහුලයි.... ඒත් අපි ආදරයෙන් රැකගෙන ආ සුන්දර ගීයක ඇරඹුම හුය අමතක කරන්න බැරි නිසාම ඔන්න යාලුවන්ට ගීතයක් අරගෙන ආවා...
මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා.. ඒ තමයි මේ රට කරවන්ටනම් මසුරන් ඇතිව කැටේ කියල නන්දා මාලනිය සුභාවිත ගීතයෙන් අපේ රටේ දේශපාලන ආර්ථික හා සමාජීය වටපිටාව විග්‍රර කරද්දි රට වටේම සාගරයයි එහි සම්පත් ආකරයයි නැවෙන් මාළු මෙහෙට ගෙනෙනව ඕයි කියල තවත් කෙනෙක් කියනවා.....
එහෙත් ඒ හැම ගීයකටම වඩා වැඩියෙන් අහිංසක දුප්පත් එදාවේල සරිකරගන්නා පීඩිත පන්තියේ දුප්පත් පවුලක ජීවිත කතාව තමා නන්දා මාලනියගේ මේ ගීතයෙන් කියවෙන්නේ.....
![]()
තුන්දෙනෙක්ගෙන් යුත් පවුලක් ගැන කතාකරන කාලයක්නේ මේක... මේ පුංචි පවුලෙත් සදහන් වෙන්නෙ තුන් දෙනෙක් ගැන... තාත්තයි ගෑණු ළමයි දෙන්නයි... තාත්තගෙ රස්සාව පොල් කැඩීම... ඔය පොල් කැඩීමෙත් ක්‍රම කිහිපයක් තිබෙනවා.... එකක් තමයි ගහකට නැගල පොල් කඩන්න මිලක් කියල තමා පොල් කඩන්නෙ... මේක රු 20 සිට ඉහලට තියෙනවා... නමුත් ඒකටත් කණ කොකා හඩලන්න පටන් ගත්තා උණ ගස් වලින් පොල් කඩන්න පටන් ගත්ත නිසා.. ඒකට පිළියමක් විදියට පොල් කඩන අය පසුව කරන්න පටන් ගත්තේ නොමිලේ පොල් කඩල දෙනවා... ඒ අය නගින හැම පොල් ගහකින්ම එක ගෙඩියක් ගන්නවා... දවසකට පොල් ගස් 20කට නැග්ගහම පොල් ගෙඩි 20යි... ( මීට අමතරව මා කියූ මෙම ක්‍රම දෙකේම මිශ්‍රණයක්ද වර්තමානයේ දක්නට ඇත).
ඉතින් මම මේ කියන්නෙ දෙවන ක්‍රමය ගැන.... තාත්තා දූල දෙන්න එක්ක යනවා වතුවල පොල් කඩන්න. පොල් කඩල දූල දෙන්නත් එක්ක එකතුවෙලා පොල් අහුලල දීල කඩපු පොල් ගස් ගානට පොල් ගෙඩි ටිකක් අරගෙන ඒවා හන්දියෙ කඩේකට විකුණල තමා මේ අය ජීවත් වෙන්නෙ... ඔබට මෙම අත් දැකීම නැතිවුනත් මේ ගීතයෙන් එම අත්දැකීම ඔබට මනාවට ගෙන එනවා..... ඉතින් මේ තාත්තා පොල් ගහට නැගලා පොල් කඩද්දි නංගියා තාත්තට කියනවා මෝරපු නැති ගෙඩියක් දෙන්න කියලා ඇයට බොන්න... මෙන්න මේ වෙලාවෙදි තමා අපේ මේ ගීතය ආරම්භ වන්නේ... අක්ක නංගියට අවවාද කරනවා... ඇත්තටම ගත්තොතින් අක්ක අපිට ඇයගේ ජීවන තත්වය පහදනවා....
ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි නංගියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ
පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ ....
මමත් එහෙම කළා අපේ පුංචි සන්දියේ ....
ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....
ගෙඩි සියයක් ......
ගායනය : නන්දා මාලනී
මෙතනින් ගිහින් අහන්න - http://www.combuwa.com/Music/wp-content/uploads/2011/03/Gedi-Siyayak.mp3
ගීතයේ උඩු අර්ථය ඔබට මනාවට පැහැදිලි වෙන්න ඇති... ඒත් මේ ගීතයෙන් පවසන යටි පෙල නම් හරිම ප්‍රබලයි... මා ඒ ගැන වැඩි විග්‍රහයක් කිරීමට උත්සාහ කරන්නේ නෑ... මොකද එහෙම කලොත් මේක දේශපාලන විග්‍රහයක් බවට පත් වෙනවා.. මා ඔබට ඉගි කිහිපයක් ලබා දෙන්නම්....
1) අඩන නංගියට එක ගෙඩියක් වත් දෙන්න අක්කාගේ තියෙන අකමැත්ත...
2) තාත්තාට අනතුරක් සිදුවුවහොත් මොවුන්ට පත්වන ඉරණම...
3) පොල් කැඩීමට නොහැකි හෝ රස්සාවට නොයන දිනවල එම පවුලේ තත්ත්වය...
3) සීඝ්රයෙන් ඉහලයන උද්ධමනය හා තරග කිරීමට මොවුන් ගේ රැකියාවේ ඇති නොහැකියාව....
4) හුස්ම පවා පියාට බාධාවක් වේයැයි සිතන තරමටම දුව පියාණන් කෙරෙහි ඇති බැදීම හා ඇයට පෙනෙන අවධානම....
5) මධ්‍යම පාන්තිකයන්ටත් ආර්ථික අපහසුතාවයන් දැනෙන මේ කාලයේ මෙවැනි අන්ත දුප්පත් පවුල්වල අසරණ භාවය....
6) සහ මෙහි යෙදී ඇති සුළග හා පොල්රුප්පාවේ චංචල භාවය ගෙනහැර දක්වන අතිශය ප්‍රබල තනුව
ඔබම මේ දේවල් ගැන ස්වයං විග්රහයක යෙදෙන්න... කියන්න දේ ගොඩාක් ඇතත් නොකියම සමුගනිමි ඔබට සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින්.... අදහසක් දීලම යන්න ඔබත්...
ප.ලි - මෙහි වීඩියොව සොයාගන්නට නොහැකි විය... හැකිනම් එය සොයාදෙන්න..
pattai !!!


