ආයුර්වේද පංචකර්මයේ ඇති ප්‍රතිකාර ක්‍රම අතර නස්‌න ප්‍රතිකාරය බොහෝ දෙනා අතර ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයකි.
නස්‌න ප්‍රතිකාරය තුළින් සිදුකරන්නේ බෙල්ලේ උඩ කොටසේ ඇති අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමය.
ඉරුවාරදය, හිසේ සෙම් රෝග, පීනස ආදී රෝග සඳහා නස්‌න ප්‍රතිකාරයක් සිදු කරනු ලබයි.
නස්‌න කිරීමේදී සිදුකරන්නේ නාස් කුහර දෙකට ඖෂධීය තෙල් ඇතුළු කර සෙම ඉවත් කිරීම ලෙස බොහෝ දෙනා සිතා සිටිති.
නමුත් එය වැරදි ආකල්පයකි. නස්‌නයක් නිවැරදිව සිදු කිරීමේදී ඒ සඳහා රෝගියා සූදානම් කළ යුතුය.
පළමුව හිස සහ මුහුණ පෙදෙසේ ඖෂධීය තෙල් ගල්වනු ලැබේ. ඉන්පසු ඖෂධීය වාෂ්ප මුහුණට ඇල්ලිය යුතුය. මෙම කටයුතුවලින් පසු හිස සහ මුහුණ ප්‍රදේශයේ ඇති නිල හොඳින් තෙරපුමකට ලක් කළ යුතුය.
මෙලෙස නස්‌නය සඳහා රෝගියා සූදානම් කිරීමෙන් පසු එක් නාස් පුඬුවක් වසා අනෙක් නාස් පුඩුවට ඖෂධීය තෙල් ඇතුළු කර යම් කාල පරතරයක් ඇතුළත අනෙක් නාස් පුඩුවට තෙල් ඇතුළු කළ යුතුය.
මෙසේ නාස් පුඩු වෙත තෙල් ඇතුළු කර විනාඩි 20 ක් හෝ 30 ක් ගතවූ පසු නිල තෙරපුමට ලක්‌කරමින් සෙම ඉවත් කිරීමට පියවර ගත යුතුය.
නස්‌න නොකළ යුතු අය
ඉතා කෙසඟ දුර්වල සිරුරක් ඇති අය සහ අධික මහත තරබාරු සිරුරක් ඇති අයටත් ගර්භණී මව්වරුන්ටත් වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට සහ වයස අවුරුදු 70 ඉක්‌මවූ වැඩිහිටියනට නස්‌න ප්‍රතිකාර සිදුකරනු නොලැබේ.
නස්‌නය මගින් ලැබෙන සහන
අපගේ නාස් කුහර බාහිරයෙන් විශාල වූවාට එය ශරීර අභ්‍යන්තරයේදී ඉතා පටුය. මෙම පටු නාළ තුළ දූවිලි ඇතුළු අපද්‍රව්‍ය සිරවීමෙන් හුස්‌ම ගැනීමේ අපහසුතා මතුවේ. නිසි ප්‍රතිකාර නොලැබුණු විට නාසය අභ්‍යන්තර නාළ සහ පටල ඉදිමුවකට ලක්‌වීමෙන් මතුවන අපහසුතාව තවත් වැඩිවේ.
නස්‌නයක් මගින් සිදුකරන්නේ මෙම අපහසුතා නැතිකර නාස් කුහරය, කෝටරක ප්‍රදේශ (නලල) ආදිය පිරිසිදු කිරීමය. එවිට මෙම ප්‍රදේශවල පවතින අවහිරතා ඉවත්වේ. නස්‌නයක් කළ යුත්තේ සෙම් කෝපවන කාලයේදීය. එනම් උදෑසන 7 ත් 10 ත් අතර කාලයේදීය.