ප්‍රමිතියකින් තොර තරඟ සංවිධානය අහිංසකයෙකුගේ මොළය කැබලි කරයි
ශ්‍රී ලංකාවේ මේ දිනවල රුපියල් සියයකට එළවළු වර්ග දෙකක් වත් මිලදී ගත හැකි තත්ත්වයක් නැත. එතරම්ම අත්‍යාවශ්‍ය කෑම බීම වල මිල අධික වී ඇත. නමුත් තවත් පිරිසකට හිතූ තරම් වියදම් කිරීමට මුදල් තිබේ. එවන් කණ්ඩායමක් අද 'ෆෝ වීල්' ජීප් රථ වලින් 'මෝටර් ක්‍රොස්' තරඟයක් පැවැත්වූහ.
මීගමුව කොච්චිකඩේ, ඕවිටියාවත්ත ප්‍රදේශයේ 'ෆෝ බයි ෆෝ' නමින් මෙම ජිප් රථ මොටර් ක්‍රොස් තරඟය පැවැත්වූයේ නරඹන්නන් ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකරය.
තරඟයට සහභාගී වූ ජීප් රථයක් මඩේ එරී තිබියදී තවත් රථයකින් කේබලයක් යොදා අදිද්දී කේබලය කැඩී ගියේ අනාරක්ෂිතව තරඟය නරඹමින් සිටි තරුණයෙකුගේ හිස සුන් කරමිනි. අධික වේගයෙන් හිසේ වැදුනු කේබලය ඔහුගේ මොළ කැබලි හාත්පස විසිරුවා හැරියේ තත්ත්පරයකිනි. ඔහු එම ස්ථානයේම මිය ගියේ ය.
මියගිය තරුණයා වයස 22 ක් වූ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලැබීය. තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
මුදල් වැඩි පිරිස් එකතු වී මෙවැනි තරඟ සංවිධානය කරන නමුත් මේවා ඉතාම නොදියුණු ආකාරයෙන් පවත්වන්නේ ය. මෙවැනි වැඩ සටහන් සංවිධායකයන්ට ඒ ගැන කිසිදු පුහුණුවක් නැත. හදිසියකදී කුමක් කළ යුතුදැයි දන්නේ නැත. මේවාට අවසර දෙන ආයතනයන්ද මේවා ගැන මෙලෝ හැඟීමක් නැත. සංවිධායකයන් සැපිරිය යුතු අවම ආරක්ෂක ක්‍රම මොනවාදැයි කියා නීතියක් ද නැත.
(සේයාරූ වලින් දැක්වෙන්නේ ජීප් රථ මෝටර් ක්‍රොස් තරඟයේ අවස්ථාවන් සහ මිය ගිය පුද්ගලයගේ මොළ කැබලි විසිරී තිබූ අයුරුයි. - සේයාරූ -බුද්ධික දර්ශන)